නිර්මාණය සහ පීඩනය


ඉතාලි ජාතික සිනමාකරුවකු වන Federico Fellini සහ ඔහුගේ සිනමා කෘතියක් වන මට හමුවුනේ ඊයේ රෑ. නිර්මාණකරුවෙක් සහ නව නිර්මාණයක් කිරීමේදී ඔහු වෙත පැටවෙන පීඩනය මනාවට විදහා දක්වන තරමක් සංකීර්ණ සිනමා පටයක් ඒක. එහි මූලික කතා වස්තුව වන්නේ ප්‍රසිද්ධ සිනමා කරුවෙක් වන ගුයිඩෝ (Guido) ඔහුගේ ප්‍රසිද්ධිය, ඔහුගේ අතීත සිනමා කෘතිවල උසස් බව සහ සමාජය විසින් තවත් නිර්මාණයක් කිරීමට පෙළඹවීම මගින් ඔහු මත එල්ල වන දැඩි පීඩනය නිසා නව නිර්මාණයක් සදහා සුදුසු වස්තු බීජයක් සොයා ගැනීමට ඔහු කරන අරඟලයයි. නුමත් ඒ පීඩනය නිසාම ඔහු සිටින්නේ එක්තරා ආකාරයක නිර්මාණාත්මක බංකොලොත් බවකට ලක්වෙලා. නව නිර්මාණය ගැන කිසිවක් සිතා ගන්න බැරි තත්ත්වයක උපරිම මානසික පීඩනයකින් ඔහු පසුවන්නෙ. අවසානයේදී ඔහු පීඩනයෙන් මිදීම සදහා උපයෝගී කරගන්නේ පලායාමයි. ඒ තමන්ගේම අතීතය සහ සිහින තුළට. මුලු චිත්‍රපටයම හීන වැලක් වගේ කිවුවොත් නිවරදියි. සමහර වෙලාවට සිහින තුල අතරමන් වන සිනමාකරුවා දකින සිහින සහ සැබෑව තුල අපි අතරමන් වන තරමයි.. ඔහුගේ ළමා කල මතක සටහන් තුළ, ඔහු පෙම්බැදි ගණිකාවන්, සිනමා නිළියන් සහ අනෙකුත් කාන්තාවන්ගේ මතක තුළ ඔහු අතරමන් වෙනව.අවසානයේදී ඒ සිහින තුළින්ම ඔහු ඔහුගේ ඊළග නිර්මාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගන්නවා..අවසානයේ චිත්‍රපටය නිමවන්නේ ජීවිතය නම් වේදිකාව තුළ විවිධ චරිත රඟදක්වන විවිධ පුද්ගලයන් එකට අත්වැල් බැදන් නර්තනය කරන සාමයේ සහජීවනයේ සහ සන්තුෂ්ටියේ ප්‍රබල හැඟීමක් ජනිත කරවමින්.

ඔය ඉහත කී චිත්‍රපටය මගෙ හිතට වදින්න එක හේතුවක් තමයි මමත් හුඟක් වෙලාවට සැබෑවට වඩා මවාගැනීම් මගින් නිර්මාණ කිරීමට පෙළඹිලා ඉන්න එක. ඇත්තම කියනවනම් නිස්කලංකව ගලා බහින ගංගාවක් අසබඩ කුරුලු ගීත වලට ඇහුම්කන් දෙද්දි මට කවි සිතිවිලි පහල වෙන්නෙ නැහැ. ඔයාල කියයි මම එහෙනම් නියම කවියෙක් නෙමෙයි කියල. ඒ උනත් ඒක තමයි ඇත්ත. ඒ අතින් නම් මා මිත්‍ර සම්පත් කවියා හුඟක් ඉදිරියෙන් ඉන්නෙ. මට මතකයි X සහෝදරය රට ඉදන් පැමිණීම නිමිත්තෙන් පැවති අපේ මධු සාදයෙදි මම සහ සම්පත් අපි නිර්මාණ කරන්න උපයෝගි කරගන්න අමුද්‍රව්‍ය ගැන පොඩි සාකච්ඡාවක නිරත උනා. එමගින් තමයි මම දැනගත්තෙ සම්පත්ට අත්දැකීම් කවි වලට නගන්න තිබෙන දස්කම.

මට මතකයි එක පාරක් මට ආදරය ගැන කවියක් ලිවීමේ අභියෝගයකට මුහුණ දෙන්න උනා. මම සාමාන්‍යයෙන් කවි ලියන්නෙ MS Word භාවිතයෙන් තමයි. ඒ නිසා කවි පොත් කවි කොළ මා ගාව නැහැ. ඉතින් මම පැය ගානක් මොනිටරය ඉදිරියේ ඉදන් ආදරය ගැනම හිත හිත හිටියට මගේ හිතට වදින තරම් අදහසක් ආවෙ නැහැ. පස්සෙ ඒ ඇති වෙච්ච පීඩනය සහ ඒකෙන් පලාගිහින් හැංගුණ මනෝ කදුවල පිහිටෙන් අන්තිමේදි බිහි උනේ මේ වගේ කවක්.

අලුයමේ හීතලෙන්
ගල් ගැහුණු ආකහේ
වගෙයි මේ හදවතත්..
අදුර මිස හාත්පස
නැත කිසිදු එළි බිදක්..
නිහඬවම හදපුරා සරන ඔබ
කෙළෙස බිහි කරමි මම කවියකින්..
මුසාවකි මේ වදන්
කාලයේ ගල්බැම්මෙ හැපී මතුදා බිදෙන..
නොවේ ආලය එවන්
නිහඬවම හදමත්තෙ පිය තබන..


නිර්මාණයක් කරද්දී දැනෙන පීඩනයට මම එක අතකන් ආසයි. මොකද මට හුඟක් වෙලාවට අමුද්‍රව්‍ය ලැබෙන්නෙත් ඒ පීඩනය තුළින්මයි. නමුත් හැමෝටම නම් ඒක ඒ විදිහට බලපානව වෙන්න බැහැ කියල මම දන්නව. ඒ පීඩනය මටනම් එක්තරා අන්දමක තෘප්තිකර හැඟීමක්. ඒ මගින් නිර්මාණයක් බිහි කලාට පස්සෙ ඇතිවන හැඟීම මටනම් අතිශය තෘප්තිකරයි. හරියට එක හුස්මට අත පය රිද්දගෙන කන්දක් නැග්ග මිනිහෙක් කන්ද මුදුනෙ ගිමන් හරින ගමන් තමාට පහලින් විහිදී ඇති භූමි දර්ශන දිහා බලනව වගේ..

පීඩනය ඇතිවෙන්නත් විවිධ හේතු තියනව. මටනම් ඒක එක් ආකාරයකට මගේ නිර්මාණ සහ අතීතය. මගේ කවි වලට ආස කෙනෙක් බෝ කවියක් ලියුවෙ නැද්ද ළගදි කියල ඇහුවොත් ඔන්න මට ඒ තත්ත්වය දැනෙනව. සමහර වෙලාවට මම හිතනව මේ තත්ත්වයෙන් ගොඩ එන්න කියල. මොන මගුලක්ද? ඔහොමත් පීඩනයට යටවෙලා පුලුවන්ද කියල නිකන් ඉන්නව. ඒත් ටික දවසකින් හිතෙනව මොනා හරි ලියන්න ඕනේ නැත්නම් කවදා හරි මට කවියක් ලියාගන්න බැරිම වෙලා යාවි කියල. ඔන්න ඕකයි මගේ තත්ත්වය. කවි ලියන එකත් නිකන් කුඩු ගහන්න පුරුදු උනා වගේ කියල හිතෙනව වෙලාවකට මටනම්. අර බෝ සහෝදරී කියනව වගේ මේව අපිම ඇතිකර ගත්ත තත්ත්ව තමයි බලන් ගියහම.


5 comments:

malee_msg said...

මට මතක් වෙනවා මම කියවපු "සිරයේ රැයක මගියෙකු නම්" කියන පොත...ඒක ටිකක් නෙවෙයි සම්ප්‍රධායෙන් පිට ගිහින් ලියවුනු කතාවක්...මගක් හරිය කියවන් යද්දි මටම හිතුනා අපරාදේ මම මේක ගත්තේ කියලා ඒත් කථාව නැවුම් ආයේ කියවද්දි..රටාව තේරුම් ගන්න පුළුවන් උනා. ඒ පොතෙත් තැනක මේ වගේ පීඩනයෙන් ඉන්න රචකයෙක් ගැන සදහන් වෙනවා...ඉල්ලුමට සැපයුම දෙන්න බැරි / අකමැති ...

මම ලියන විදිය ගැන කියනවා නම්...කවියක් ලියවෙන්නේ අහම්බෙන් ඒත් මම හැමදාම සැහෙන්න වෙලාවක් බස් ‍එකේ යන කෙනෙක් නිසා කල්පනා ලොවේ මල් වනේ සැගවෙන්න ලැබෙන ඉඩ බොහොම වැඩී...ඒ ව‍ගේ වෙලාවට අහම්බෙන් එන අදහස් තමයි සති ගනනක් හිත ඇතුලේ විදවලා අන්තිමේ කවියක් වෙන්නේ...හිතුව ගමන් කවි ලියවෙන්නේ නම් නෑ කවදාවත් මට...මම ලියන්නේ රෑට ඇද උඩ ඉදන් මොකක් හරි පොතක අන්තිම පිටක (දැන් අන්තිම පිටු නෑ එක එක ඉස්සරහට එනවා) ඒ ලියන දේත් ලියවෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් සම්ප්‍රධායට...මුලින් හිතන් ඉන්න එක අමතක වෙලා ‍ඒකත් එක්ක යන වෙන වචන ටිකක් ලියවෙන්නේ...අනේ මන්දා ඒකට මොනා කරන්නද කියලා‍‍‍...

Boman said...

වාව් නියම පොතක්නෙ ඒක..මං ගාවත් ඕක තිබ්බ.මමත් දෙතුන් පාරක්ම ඒක කියවල තියනව..දැන් ඒක අපේ එක්ස් සහෝ ගාව. මට මතක විදිහට ඔය චරිතය අර්මේස් මරානා ද කොහෙද.

අපොයි මටත් එහෙම තමයි. ලියන්න පටන් ගන්නේ එකක් ලියැවෙන්නේ තව එකක් අන්තිමට. ඉතින් මමත් ඔහේ ලියැවෙන්න ඉඩදීල ඉන්නව.

haresh said...

මම නම් ඔය ගැන හිතලම නෑ. මට අදහස් පහල වෙන වෙලාව සහ ඒ එන අදහස හාත්පසින්ම වෙනස් සමහර වෙලාවලට. වැඩ කරන අතරෙ මොකක් හරි පින්තූරයක් ලැසෝ එකෙන් කැපීගෙන යද්දි මම ඉන්නෙ වෙන තැනක. රස්සාව තුල කරන දේවල් මම වෙනම process කරන අතරෙ වෙනම process එකකදි ගැටෙනවා මාත් එක්කම මලී වගේ. එක් අදිසි නිමේෂයකදි මට හිතෙන වටිනා සිතුවිල්ල මුලින්ම එන්නෙ එක වාක්‍යයකින් හෝ දෙකකින්. නිරායාසයෙන්. ඒක මම ඒ මොහොතෙම කවි කාඩ් වල සටහන් කරනවා. මේ කාඩ් යනු අපතේ යන කාර්යාලීය කාඩ් බෝඩ් අඟල් 3-4 කෑලි වලට කපල මම හදාගෙන ඉන්න කාඩ්. ඒව මට බහුකාර්යයි. මගේ අංකය ලියල දීම, පුංචි සටහනක් යෙදීම වගේ දේවල් වල ඉඳලා සින්දු ලියා ගැනීම සහ කවි ලිවීම වගේ දේවල් දක්වා ඒ කාඩ් ප්‍රයෝජනයි. සතිය අවසන් වෙද්දි ඒව මගේ සාක්කු වල තියෙනවා පිරිලා. කොහොමත් මගේ සාක්කුවෙ ඕන වෙලාවක සින්දු කීපයක් සහ කවි දෙක තුනක් තියෙනවාමයි.

ඊට අමතරව මට අදහස ලියාගන්න තියෙන ඕනෙම මාධ්‍යයක් මම අවස්ථාව අනුව භාවිතා කරනව. ATM බිල්, සුපර් මාකට් වලින් දෙන බිල වගේ ඒවයෙත් මම කවි ලියල තියෙනවා. ඒ සේරටම වඩා දැන් මම ක්ෂණික මෝචනෙන් පහල වෙන කවි මගේ nokia 1110 එකේ message drafts විධියට තැන්පත් කරනව. ඒ කියන්නෙ මූලික සංකල්පය. පස්සෙ දිග අරිනව. ඒක මට මාර වාසියක්. බස් එකේ යද්දි වුණත් දැන් අදහස් ලියාගන්න බාධාවක් නෑ. මොකද සමහර සිතිවිලි ආයෙ කවදාවත් පහල වෙන්නෙ නෑ ඒ මොහොතෙ හැර.

මම කවි ලියන්න පාදක කරගන්න මූලාශ්‍ර ගැනත් මම පැහැදිලි කරන්න දන්නෙ නෑ. ඒව සමහර විට සිදුවීම් කීපයක නිරෑපන. නැත්නම් එක අත්දැකීමකින් දැණුන ආවේගයක්. එහෙමත් නැත්නම් ඔය කෝකත් නෙවෙයි. වෙනම එකක්. අර කිව්ව වගේ පිටස්තර සිතිවිල්ලක්.

කවි විධියට නැතත් මම මගේ හිතට එන පුංචි පුංචි වාක්‍යමය අදහස් ඔය විධියට කොල කෑලි වල සහ සමහර විට පරිගණකයේ doc file එකක ලියනව. දැන් නම් ඒක නොකෙරෙන්නෙ ඒව පරිගනකයකින් තොරව බලන්න බැරි හින්දයි.

දැන් මට කවි කාඩ් වල පිහිටයි!


සහ


අර මලී කියපු සිසිරයේ රැයක මගියකු නම් පොත කියවද්දි මටත් අර අපරාදෙ කියන හැඟීම ආව. ඒක මම හදාගෙන යන ෆැන්ටසිය හැමවෙලේම කැඩුව. ඒත් අවසාන වෙද්දි මට කතාවෙ නමත් එක්ක ඒක මගේ හිත තුල කරපු mind game එක තේරුණා. නියම පොතක් තමයි.

Boman said...

මටත් සමහර වෙලාවට හදිසියේ අදහසක් පහල උනොත් මමත් ජංගම දුරකතනයේ සටහන් කරගන්න වෙලා තියනව. නමුත් ඉතින් එහෙම එන ඒවගෙනුත් අඩක් වගේ තමයි කවි වලට හැරවෙන්නෙ. හරේට මතක ඇති මම දවසක් කියුවා මම ලියපු ආශා කියන කවියෙ අදහස මගේ ඔලුවට ආවෙ නාමින් බාත්රූම් එකේ ඉන්න ගමන් කියල..මට එවෙල සටහන් කරගන්න දෙයක් නොතිබුණු නිසා නාල ඉවරවෙනකම් කවිය දහ පහලොස් පාරක වචන එකතු කර කර නැවත නැවත කියමින් හිටිය..හෙහ් හෙහ්..

මට තව කතාවක් මතක් උනා. ඉස්සර දුකා(දුක්ගන්නාරාළ) පෑනක් බෙල්ලෙ එල්ලන් ඉද්දි මම හිතුවා මේක මේ ඇඩ් එකට කරන එකක් කියල. ඒත් දැන් අපිත් ලියනකොට තමයි හිතෙන්නෙ හිතට එන අදහසක් මතකයෙන් පැනල යනව කියන්නෙ ‍මොන තරම් ඛේදාන්තයක්ද කියල.

haresh said...

@ Boman - ආ මට කියන්න අමතක වුණා. මගේ සාක්කුවේ පෑනකුත් අනිවාර්යයි. හික් හික්...