රැඩිකල් පොරකගේ කවිපොත

දිළිදු බව

ගල්ගැසී
බිළිදු අත දරා උනි
‍මොහොතකට ප්‍රථම
බිදුනු කෙළි බඩුව
සිටියේය වැතිර
නම නොදත් යම් දෙයක්
උන් හදේ දිගුකල් නිදන

නමක් නැති හැඟීමකි
පුරුක් නැති
අතීතෙට යා කෙරෙන යදම් නැති
හිස් බවකි
පුරුද්දනු නොහෙන

වියෝගේ උප්පැනින්
හද කිරුලු අරා නැති
අකලංක ස්නේහ බර
බිළිදු හද දරා ගති
සපා ගත් දෙතොල් පට සිපගන්න
නොවිය එක කදුළකුන් උන් ඇසේ

ශේෂ කොට
කෙළිබඩුව මතක
කාලයක මග වියදමට
බිළිදු හද සැගවගති
නොගිළිහුන කදුළ
යළි සමු නොවන ලෙසට

දිළිදු බව කියාදී
ලෝකයක


නලින් ද මැල්
2009.06.28

විකාර කතා - සුනිල් සහ ලයනල්

"සමහරු නම් හෙන චාටර්"
ලයනල් කියනව.

සුනිල් සද්දයක් නෑ. හිමීට වීදුරුවට තව ගල් වඩියක් වක් කරගන්නව ඊට උඩින් සෝඩ ටිකක්.

"දැන් බලපන්, තාත්තල තමන්ගෙම දූවරු දූෂනය කරනව. අම්මල තමන් කුසින් වදාපු දරුවන්ගෙ බෙල්ල මිරිකල දානව. හැම තැනම අසහනකාරයො පිරිල. හිතාගන්නත් බැරි විකෘතිකම් තියන මානසික ලෙඩ්ඩු දැන් ඉන්නෙ"

සුනිල් තාම සද්දයක් නෑ. සිගරට් එකක් පත්තු කරගෙන ලයනල් දිහා බලන් ඉන්නව මිසක්.

"හොද සංගීතයක් අහන්නෙ දැන් ඉන්න කීයෙන් කී දෙනාද? වික්ටර්ලගෙ, සුනිල් එදිරිසිංලගෙ සින්දුවක් බේතකටවත් අහනවද? නෑනෙ. මිනිස්සුන්ගෙ රස වින්දනය අන්තයටම පිරිහිලා. මේ හැම අසික්කිත, අසහනකාරී වැඩවලට හේතුව අන්න ඒකයි. මිනිස්සු ජීවිතයෙන් මත් වෙන්න දන්නෙ නෑ"

සුනිල් දුම් උගුරක් අහසට පිඹල බාගයක් ඉවරවෙලා තිබ්බ සිගරට් කොටේ ලයනල්ට දික් කරනව. බයිට් පීරිසියෙන් කඩල ඇටයක් අරන් මහපටැගිල්ලයි දබරැගිල්ලයි අතර රෝල් කරනව.

"ලෝකෙ එන්න එන්නම චාටර්. මිනිස්සු එන්න එන්නම කුණු වෙනව"
ලයනල් පියාගත් තොල් දෙකේ එක කොනක් විවර කරල සිගරට් දුම ඉවතට විදිනව.

"හැබැයි තවමත් උඹල අපි වගේ උන් මේ ලෝකෙ ඉන්නවා. බොන එකක ආතල් එකක් හරියට අදුරන. මාස්ටර්ගෙ සංගීතයක් අහල සේකරගෙ කවියක් රසවිදින උන් තාම කීප දෙනෙක් හරි ඉන්නව. උන් තමයි මේ ලෝකෙ ලස්සන කරන්නෙ. මහ ලොකු නිලතල තානාන්තර තිබ්බට වැඩක් නැහැ ඇතුලෙ කුණු නම් ක්ලීන් සූට් වලට යටිනුත් ගද ගහනව"

සුනිල් වීදුරුවේ රවුම් දාරය දිගේ දබරැගිල්ල රවුමට රවුමට ගෙනියනව. වීදුරුවෙ බොර දුඹුරු පාට ඇතුලෙ සුනිල්ගෙ ඇස් දෙක කැළතෙනව

"මේ ළගදි අපේ පැත්තෙ එකෙක් අතටම මාට්ටු උනා ගෑනුන්ගෙ ජංගි උස්සන්න ගිහින්. මිනිහා ලොකු කොම්පැනියක වැඩ කරන්නෙ. යන්නෙ ටයි බයි දාල මහත්තය වගේ. බැදල ගෑණියෙකුයි ළමයි දෙන්නෙකුයිත් ඉන්නව. උන්ව ‍ගමේ දාල මෙහෙ බෝඩින් වෙලා ඉන්නෙ. අපේ කොල්ලො ටික මූට දෙක තුනක් ඇනල මුගෙ බොඩින් කාමරේට ඇවිත් බලද්දි මුගෙ මෙට්ටෙ යට ජංගි බොඩි ගෝනි ගනන්.."

මම පොත වහනව. පෑන ඇද උඩට විසි කරනව. මට ආසයි ඒක මිදුලෙ ඈතට විසි කරන්න. ඒත් මොකක්දෝ හේතුවක් ඒකෙන් මා වලක්වනව. පෑනෙ තුඩ කැඩිල ඒක ලියවෙන්නෙ නැතිවෙයි වගේ විකාර හේතුවක් වෙන්න ඇති.

සුනිලුයි ලයනලුයි ගැන ලියල වැඩක් නැහැ. ඒක මහ තේරුමක් නැති කතාවක් වෙයි. හොද ගැඹුරක් ඇතිව කියවන උන්ව ගල් ගැහෙන්න කතාවක් ලියන්න ඕනෙ. වෙන කවුරුත් ලියල නැති කතාවක්. මේ ලියන එකත් නිකන් ඉතාලෝ කැල්විනොගෙ සිසිරයේ රැයක මගියෙක් වගේ එක අතකට. මම එහෙම කියුවෙ මේ ලියපු එකේ හොරේ අහුවෙයි කියලද නැත්නම් ඇත්තටමද? ඇත්තටම කිවුව කියල හිතමු. එහෙම කියන්නෙත් බොරුවට කියලයි මට හිතෙන්නෙ. බොරුවට කියල කියුවෙත් අවංකව නෙමෙයි කියල ආයෙත් මට හිතෙනව. මේක එකපිට එකපිට ඇත්ත බොරුව කියල නැති මහ විකාර වැලක්.මහ විකාර ජීවිතයක්. විකාර කියන වචනෙ නියමයි. මම ඒකෙ තේරුම හරියට දන්නෙ නැහැ. ඒ නිසා මෙතනට ගැලපෙනව.

මට හිතෙනව සුනිල්ගෙයි ලයනල්ගෙයි කතාව ටිකක් වෙනස් කරල අමුතු ගතියක් දෙන්න. සුනිල් නිෂ්ශබ්දව ඉදල එකපාරටම ලයනල්ට වෙඩි තිබ්බොත් කොහොමද? හිතාගන්න බැරි කුතුහලාත්මක තැනක කතාව නැවැත්තුවනම් තේරුමක් නැති උනත් මාර ගතියක් තියෙයි කියල මට හිතෙනව. මම එහෙම කියන්නෙ මේ ලියපු එකේ අසාර්තක බාවය වහගන්න කියල මට හිතෙනව. මම එහෙම හිතන්නෙත් බොරුවට කියල මම දන්නව. එතනදිත් මම අවංක නැහැ. ඔන්න ආයෙමත්..

කොහොම උනත් හැමදාම කියන දේවල් කියල දාල, ලියල දාල. නොකියා හංගන ඒවය කියල වෙනත් ඒව වගයකුත් කියල දැම්මට පස්සෙ හැමදාම මගෙන් හැංගෙන අනන් මනන් ටික හොයාගත්තනම් හොද කතාකාරයෙක් කවි කාරයෙක් වෙන්න තිබ්බා. ඇත්තට හෝ බොරුවට.

නමක් නැති පැන්ඩෝරාට

පළමු ගැහැණියයි නුඹ
ශුෂ්ක වී දරදඩුව ගිය සිහින නිම්න වල
වසන්තය පතුරුවා
කටුක මේ ලෝකයට
සියුමැලිය අරන් ආ

මනැස් අහුමුලු සරා
සරා සඳ නිගා දෙන රූ මවා
හුදෙකලා රාත්රිය දවා හලු කර දමන
රෝස මල් පෙති අතුල පෙට්ටගම
කැටුව මා සිහින මග
සුමුදු මුදු පා තබන
සොදුරු
පැන්ඩෝරාව

සසල වේ නුඹේ හද සියුමැලී
මෘගයෝ රැළද ඒ වග දනී
කුහුල් දොර අගුල් හැර
නොබලන්න මගේ සඳ
මා සිහින රෝසපෙති
තලා බිම නොදමන්න

නාසිසස් වේවිනම් ඔබ සොදුර
මුලු මහත් ලෝකයට..හැමදාම
නෑසුනත් නුඹ සවන මා ගීය කිසිදාක
මම එකෝ වෙන්නම්ය
කමක් නැත..


නලින් ද මැල්
08.06.09

පැන්ඩෝරා ගැන දන්නෙ නැත්නම් මෙතන කොටන්න
එකෝ සහ නාසිසස් මෙතන

උදෑසන

JIGSAW || ජිග්සෝ

වෙසක් සිතිවිල්ලක්